top of page

ආගම සහ යටත්විජිත රාජ්‍යය

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ සිලෝන් නොහොත් ලක්දිවෙහි නූතන ආගමික අනන්‍යතාවයේ ඇරඹුම ‛ආගම සහ යටත්විජිත රාජ්‍යය’ මගින් ගවේෂණය කරයි.

කලින් කලට ලක්දිවට පැමිණි විවිධ වෙළඳුන්, දේශාටකයින්, ලොව නන් දෙසින් ආ දුතයන්ගේ මෙන්ම එකිනෙකා පරයා මෙරට යටත් කරගත් යුරෝපීය අධිරාජ්‍යවාදී රටවල්වල බලපෑම මගින් සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික භූ දර්ශනය හැඩගැස්වී තිබේ.

1815 දී බ්‍රිතාන්‍ය කිරුළ යටතේ ලක්දිව බලහත්කාරයෙන් 'එක්සත් කිරීම' පසුකාලීනව 'රාජ්‍යයක්' ලෙස මෙරට ඒකාබද්ධවීමේ වැදගත් සන්ධිස්ථානයක් විය. උඩරට ගිවිසුම අත්සන් තැබීමත් සමග රාජ්‍යය සහ බෞද්ධාගම අතරේ සම්බන්ධතාවය නිල වශයෙන් පිළිගැනීම තහවුරු  විය. මේ තුළින් වත්මන් ශ්‍රී ලංකාව මත කාලාන්තරයකට විශාල බලපෑමක් ඇතිකරනු ඇත. රාජ්‍යයේ ආගමික 'අනන්‍යතාවය' තීරණය වූයේ සහ රාජ්‍යය සහ විවිධ ආගම් හා විශ්වාසවලට අයත් පුරවැසියන් අතරේ  සම්බන්ධතාවය තීරණය කරනු ලැබුයේ මේ ඓතිහාසික සන්ධිස්ථානයේ දී ය. එය, අනුග්‍රහය සහ ප්‍රචණ්ඩත්වය යන එකිනෙකට පටහැනි සංකල්පයන්ගෙන් අර්ථනිරූපණය වන්නා වූ සම්බන්ධතාවයක් විය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික-ආගමික ප්‍රජාවන්ගේ අනන්‍යතා සහ ව්‍යවහාරවල සීමා, එකල යටත්විජිත පාලකයින් ජාතිය, ජනවර්ගය, සහ ආගම අනුව කළ පරිපාලනමය වර්ගීකරණයෙන් මෙන්ම දේශීය සහ ගෝලීය ගැටුම් හා සම්බන්ධතා මගින් තවතවත් ස්ථිර ලෙස නිර්ණය විය.

1815ත් 1915ත් අතර සිදුවූ විශේෂ සිදුවීම් මාලාවක් කෙරෙහි අවධානය යොමු කරමින් අපි යටත්විජිත රාජ්‍යයේ  නීති සම්පාදනමය උරුමය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික-ආගමික ප්‍රජාවල 'නූතන' සංකල්පීකරණය සහ සමාජායනය සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට වෑයම් කරන්නෙමු. අධිරාජ්‍ය විරෝධී මත සඳහා තුඩු දුන් සාධක වශයෙන් සැලකූ දේශීය ආගමික චාරිත්‍රවාරිත්‍ර සම්බන්ධයෙන් සඳහන්වන තැන්වලදී, පීඩාකාරී ප්‍රතිපත්ති මගින් ආගම් අතර උග්‍ර කරවනු ලැබූ ආතතිය ද මෙම යටත්විජිත පීඩා සහ රාජ්‍ය කෲරකම් වලින් පසුව ඇතිවූ ප්‍රතිව්පාක ද පිළිබඳ සිතා බලන මෙන් අපි මෙහි පැමිණෙන ඔබට ආරාධනා කරන්නෙමු.

අන්තර්ගතය පිළිබඳ අනතුරු ඇඟවීම: යටත්විජිත සමයේ ජනවර්ග අතර ප්‍රචණ්ඩත්වය, මරණ, පරිභවාත්මක යෙදුම් හා රූප, වෙනස්කොට සලකනසුළු ආකල්ප හා ක්‍රියාවන් යනාදිය පිළිබඳ විස්තර කිරීම් සහ සාකච්ඡා මෙහි ඇතුළත් බව සලකන්න.

bottom of page