top of page

ජනවාර්ගික ගැටුම සහ ආගමික හානි

ශ්‍රී ලංකාවේ දුෂ්කරවූ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ ජාතීන් අතර ඇතිවූ ප්‍රචණ්ඩත්වය සහ සිවිල් යුද්ධය අතර ඇති සම්බන්ධතා පිළිබඳව "ජනවාර්ගික ගැටුම් සහ ආගමික හානි" හරහා ගවේෂණය කෙරේ. දිවයිනේ ජනවාර්ගික-ජාතිකවාදී සහ මතවාදීමය ගැටුම් ආගමික වන්දනාමාන සඳහා මෙරට පවතින අවකාශවලට සැලකියයුතු බලපෑමක් ඇතිකර තිබේ. අර්බුද සහ දුෂ්කරතා සහිත කාලවලදී දිවයින මුළුල්ලේ විවිධ ප්‍රජාවන්ට සහය, ආධ්‍යාත්මික සුවය, සරණ සහ ආරක්ෂාව ලබාදෙන අභයභූමි වී ඇත්තේ දේවස්ථාන, පන්සල්, පල්ලි, සහ කෝවිල්ය.  

"සන්නද්ධ ගැටුම් අවස්ථාවල සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීම සඳහා වන හේග් සම්මුතියේ" ගැටුම් අවස්ථාවලදී ආගමික වැදගත්කමකින් යුත් ස්ථාන ඇතුළුව සංස්කෘතික දේපළ සඳහා ගරුකිරීමට සහ ඒවා ආරක්ෂා කිරීමට පැවරෙන වගකීම් පිළිබඳව සඳහන් වේ. ඒ අනුව ජනතාවගේ සංස්කෘතික හෝ ආධ්‍යාත්මික උරුමය වශයෙන් සැලකෙන ඓතිහාසික ස්මාරක, කලා කෘති හෝ ආගමික වශයෙන් වැදගත් ස්ථාන සඳහා හානි කිරීම තහනම් වේ. කෙසේනමුත්, කිසිදු වගවීමකින් තොරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් යුද්ධ කාලයේ සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර එවැනි ස්ථාන මෙන්ම ආගමික නායකයින් සහ පූජක පිරිස් විසමානුපාතික ලෙස බලපෑමට සහ එවන් ක්‍රියාවල ඉලක්ක බවට පත් වූහ. සටන් වැදුනු පාර්ශවයන් එකිනෙකාගෙන් පළිගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග සඳහා ආගමික ස්ථාන ඉතා පුළුල් ලෙස විෂයය වූ අන්දමත් එය යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට බරපතළ අන්දමින් බලපෑ අන්දමත් අපි අවධානයට ගෙන එන්නෙමු. මෙම කෞතුකාගාරයේ ජනවාර්ගික ගැටුම සහ ආගමික හානි සම්බන්ධයෙන් වෙන්කර ඇති අවකාශය රාජ්‍ය සහ රාජ්‍ය විරෝධී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සෘජුවම බලපෑමට ලක් වූ ප්‍රජාවන් සම්බන්ධයෙන් ගැඹුරින් සිතාබැලීමටත් අනුස්මරණයටත් හැකි අවකාශයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

සිවිල් යුද්ධය පැවති කාලයේ සිදුවූ ආගමික හානි සඳහා උදාහරණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් එය සකසා තිබේ. දැනට ඒ සඳහා අරන්තලාව භික්ෂු ඝාතනය (1987), කාත්තන්කුඩි සහ එරාවුර් පල්ලිවලට කළ ප්‍රහාර (1990), නවාලි දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරය (1995), සහ මඩු පල්ලියට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම (1999) යන සිදුවීම් ඇතුළත් කර ඇති අතර එය පොදු ඉගෙනීම් සහ ස්මරණයන් පුළුල් කිරීම සඳහා අඛණ්ඩව දරන වෑයමකින් සමන්විත වේ. 

එසේම, අනුරාධපුර සමූලඝාතනය (1985), උතුරු පළාතෙන් මුස්ලිම්වරුන් නෙරපා හැරීම, මහනුවර දළදා මාලිගාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය (1998), පේසාලෙයි පල්ලියේ ප්‍රහාරය (2006) ඇතුළු සිදුවීම් මෙන්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය කෝවිල් 240 ක් ඇතුළුව යුද්ධය අතරතුර හානියට පත් වූ හින්දු කෝවිල් 1560 ද වැදගත්කම මෙහිදී අවධානයට යොමු කරන්නෙමු. එමෙන්ම, අනුපිළිවෙලින් 2006 සහ 2009 යන වර්ෂවලදී අතුරුදන් කරවනු ලැබූ, මානුෂීය සේවයට කැපවුනු කතෝලික ප්‍රජා නායකයින් වන තිරුචෙල්වම් නිහාල් ජිම් බ්‍රවුන් පියතුමා සහ ෆ්‍රැන්සිස් ජෝසෆ් පියතුමා ගේ මතකයන් ද සඳහා අපි ගෞරව කරමු.

මේ කෲරකම් මෙන්ම ඉන් පසුව ඊට පළිගැනීම් වශයෙන් ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අහිමි වී ගිය ජීවිත සහ මින් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත අපේ ගෞරවය පුද කිරීමට මෙම කෞතුකාගාර අවකාශය හරහා අපි කටයුතු කරන්නෙමු. හැකි සෑමතැනකදීම අපි පීඩාවට පත් වූ ප්‍රජාවල ආගමික නායකයින් සහ සාමාජිකයින්ගේ අදහස් සක්‍රියව ඇතුළත් කරගැනීමටත් සම්බන්ධ කරගැනීමටත්, ප්‍රජාවේ ලේඛනගතකිරීම් සහ අනුස්මරණ චාරිත්‍රවලින් අංග ඇතුළත් කරගැනීමටත් කටයුතු කළෙමු. 

අන්තර්ගතය පිළිබඳ අනතුරු ඇඟවීම: යුද්ධය සහ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය, තුවාල, ක්‍රෑරකම්, මරණ සහ වෙනස්කොට සලකනසුළු ආකල්ප හෝ ක්‍රියා සම්බන්ධයෙන් විස්තර, පිළිබිඹුකිරීම් සහ සාකච්ඡා ඇතුළත්  බව සලකන්න.

bottom of page